සයිටම් විරෝධයේ සැබෑ යතාර්ථය කුමක්ද?

SAITM ආයතනය තම දේශපාලන හා මූල්‍යමය බලය පාදක කරගනිමින් මුළු සමාජයත් විශේෂයෙන්ම එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා දෙමව්පියන් මුලාවට පත් කර ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ගෙන තිබුනේ කළමනාකරණ උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මිස, වෛද්‍ය උපාධි පාඨමාලාවක් සදහා නොවේ. එමෙන්ම මෙම ආතනයේ වෛද්‍ය උපාධිය රුසියාවේ විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ යැයි ප්‍රකාශ කළද මෙරට රුසියානු තානාපතිවරයා ලිඛිතව එවන් රුසියානු විශ්ව විද්‍යාලයක් සමග SAITM හි වෛද්‍ය උපාධි පාඨමාලාව අනුබද්ධ නොවේ යැයි ප්‍රකාශ කර ඇත.

මේ දිනවල මාළඹේ SAITM පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය  පිළිබද ගැටලුව දැනටමත් මේරට ජනමාධ්‍ය වල ප්‍රධාන පුවතක් බවට පත්ව ඇත. හුදෙක් මතු පිටින් ජන ගත කරන්නට උත්සාහ දරන සාවද්‍ය මත වලට වහල් නොවී, වඩාත් විමර්ශනශීලී සහ සංවාදාත්මක ලෙස මෙම ප්‍රශ්නය ජනතාව වෙත සම්ප්‍රේෂණය විය යුතු බව අපි දැඩිව විශ්වාස කරමු. ජන මාධ්‍යය තුළ මෙම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිළිබදව මෑතකදී වඩාත් ම කතාබහට ලක් වූයේ 2017 ජනවාරි 31වන දින CA/writ/187/2016 නැමැති අභියාචනා අධිකරණ නඩු තීන්දුවෙන් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක බව නියාමනය කරමින් රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන ස්වාධීන වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට(SLMC) අයත් බලතල අභියෝගයට ලක් කරන නඩු තීන්දුවත් සමගයි.

නමුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිළිබද ගැටලුව  මීට දශක 02/03 ක ඉහත සිට වරින් වර ඉස්මතු වෙන සමාජයීය ප්‍රශ්නයක් වන අතර මීට අවස්ථා ගණනාවක දී එම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට තුළ ස්ථාපනය වීම ව්‍යාර්ථ වී ඇත. එයට ප්‍රධානතම හේතුව, එවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුලින් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය පහළ වැටීම හේතුකොට ගෙන මෙරට අසරණ රෝගීන්ගේ ජීවිත අවධානමට ලක් වීමයි. දෙවනුව මෙවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල පිහිටුවීමේ අවසන් ප්‍රතිඵලයක් ලෙස මෙරට නිදහස් සෞඛ්‍යය ක්ෂේත්‍රය සහ නිදහස් අධ්‍යාපනය අවධානමකට ඇද හෙලීමයි.වත්මන් SAITM  පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අප එරෙහි වනුයේ ඉහත කී කරුණු දෙක මත පදනම් කරගෙනයි.

SAITM ආයතනය පිළිබද ප්‍රශ්නය මෙතෙක් කල් විකාශනය වූ ආකාරය සැකැවින් දැක්වීම වැදගත් යයි සිතමු. එයට හේතුව ආරම්භයේ සිටම තම දේශපාලන හා මූල්‍යමය බලය පාදක කරගනිමින් මුළු සමාජයත් විශේෂයෙන්ම එහි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යයාවන් හා දෙමව්පියන් මුලාවට පත් කර ඇත. ආරම්භයේදී ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ගෙන තිබුනේ කළමනාකරණ උපාධි පාඨමාලාවක් ආරම්භ කිරීමට මිස, වෛද්‍ය උපාධි පාඨමාලාවක් සදහා නොවේ. එමෙන්ම මෙම ආතනයේ වෛද්‍ය උපාධිය රුසියාවේ විශ්ව විද්‍යාලයක් හා අනුබද්ධ යැයි ප්‍රකාශ කළද මෙරට රුසියානු තානාපතිවරයා ලිඛිතව එවන් රුසියානු විශ්ව විද්‍යාලයක් සමග SAITM හි වෛද්‍ය උපාධි පාඨමාලාව අනුබද්ධ නොවේ යැයි ප්‍රකාශ කර ඇත. එවන් වංචනික ක්‍රියා කලාපයන් තුලින් සමස්ථ සමාජයම මුලාවට ලක් කෙරුණී.

ඉහත කී කරුණු පසෙක තැබුවද මෙම SAITM ආයතනයේ ගුණාත්මකභාවය පිළිබදව විද්වත් කමිටු ගණනාවක් මගින් ලබාදුන් නිර්දේශ සුළු පටු ලෙස සලකාලිය නොහැකි ය. SAITM ආයතනය වෛද්‍ය උපාධිය ප්‍රදානය කිරීමට නුසුදුසු ආයතනයක් වන බැව් සදහන් කෙරෙන ප්‍රධානතම කමිටු වාර්ථා මෙසේ ය.

  1. SLMC මගින් පත්කරන ලද ආචාර්ය-මහාචාර්ය වරුන් දස දෙනෙකුගෙන් සමන්විත වාර්ථාව මගින් 1721/19,(2011/08/30) නැමැති ගැසට් පත්‍රයෙන් සහ 1829/36(2013/09/26) දරණ සංශෝධිත ගැසට් පත්‍රයෙන් අතීතයට බලපවත්නා ලෙස උපාධි ප්‍රදානය කිරීමේ අයිතිය SAITM වෙත ලබාදී ඇති බවත් ශිෂ්‍යයන්ගේ සායනික පුහුණුවට අදාල රෝගීන් ගණන තවදුරටත් 5 ගුණයකින් ඉහල නැංවිය යුතු බවත්, වෛද්‍ය විද්‍යාවට අයත් සියලුම ක්ෂේත්‍රයන් වලට අදාලව සායනික පුහුණුව කිසි ලෙසකින් ප්‍රමාණවත් නොවන බවත්, ඒ හේතුවෙන් SLMC හි අනුමැතිය ලබාදීම ප්‍රතික්ෂේප කරන බවත් සදහන් කර ඇත. මෙම නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍යය හා උසස් අධ්‍යාපන අමාත්‍යවරුන් බැදී සිටියද එවැන්නක් සිදු නොවූයේ ඔවුන්ගේ දේශපාලනික බල පැවැත්ම මෙරට විදවතුන්ගේ නිර්දේශ ඉක්මවා ගොස් ඇති බවපැහැදිලි ය.
  2. උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් විසින් පත්කළ මහාචාර්ය රංජිත් සේනාරත්න ප්‍රමුඛ සිව් පුද්ගල ආයතනික සමාලෝචන කම්ටු වාර්ථාව (2012/09/14) මගින් පෙන්වා දෙන පරිදි 2009/2010 අධ්‍යන වර්ෂ වල සිසුන් ගේ සායනික පුහුනුව ප්‍රමානවත් නැත. එම අඩුපාඩු සකස් කර ගැනීම සදහා අමතර කාල සීමාවක් සායනික පුහුනුව දීර්ඝ කළ යුතු බවට සදහන් ය. නමුත් එවැන්නක් මෙතෙක් සිදු වී නොමැත.
  3. උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් විසින් පත්කරන ලද මහාචාර්ය මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු සය පුද්ගල කමිටු වාර්ථාවේ පෙන්වා දෙන පරිදි 1721/19(2011/08/30) ගැසට් පත්‍රය නිකුත් කර ඇත්තේ සිසුන් ඇතුලත් කරගැනීමේ නිර්ණායක නිශ්චය කිරීම, සායනික පුහුණුව ප්‍රමාණවත් පරිදි ඉහල නැංවීම වැනි නිර්ණායක ගණනාවක් ඉදිරියේදී සපුරාගනී යැයි සලකා නිකුත් කර ඇති බවත්, සමහර ශිෂ්‍යයන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවෙන් නිර්දේශිත අවම සුදුසුකම් හෝ සපුරා නොමැති බවත් සදහන් කර ඇත.
  4. සෞඛ්‍යය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය රවීන්ද්‍ර රුබේරු මහතාගෙන් සැදුම්ලත් පංච පුද්ගල කමිටු වාර්ථාවට(2011/03/22) අනුව ව්‍යාජ ලෙස වර්ෂ ගණනාවක් වෛද්‍ය උපාධි ප්‍රදානය කරන ආයතනයක් ලෙසට ප්‍රචාරය කළද, එය පිහිටුවන විටදී SAITM හි M – Management ලෙස ස්ථාපනය කර ඇති බවත්(ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඉල්ලා යැවූ ඉල්ලුම් පත්‍රයට අනුව), SLMC හි අනුමැතිය ලැබෙන අයුරින් ලබාදෙන වෛද්‍ය අධ්‍යාපනයේ අදාල වෙනස්කම් කළ යුතු බවත්, SLMC යට අනුමැතිය ලබාදීම හෝ ප්‍රතික්ෂේප කිරීම නිර්ණය කිරීමට අයිතිය ඇති බවත්, සියලු සිසුන් බදවාගැනීම් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ නිර්ණායක වලට අනුකූල විය යුතු බවටත්, වසරකට අවස්ථා දෙකකදී සිසුන් බදවාගැනීම නැවැත්වියයුතු බවටත් නිර්දේශ කරන ලදී. නමුත් මේ කිසිවක් ක්‍රියාත්මක නොකළද දේශපාලන මැදිහත්වීම මගින් මෙම සියලු විද්වත් නිර්දේශයන් අතික්‍රමණය කර ඇත.

ලෝක සෞඛ්‍යය සංවිධාන‍යේ (WHO) අර්ථ දැක්වීම අනුව උසස් අධ්‍යාපනය යනු, කුසලතාවය මත නිශ්චිතව තෝරා ගැනීමකින් පසුව ලබාදිය යුත්තකි. එසේ නම් ඕනෑම කෙනෙකුට සිහිනයක් තිබූ පමණින් තමා සතු ධනය මත පමණක් අධ්‍යාපනය ලැබීමේ අයිතිය නිර්ණය නොවිය යුතු ය.

ලෝක සෞඛ්‍යය සංවිධාන‍යේ (WHO) අර්ථ දැක්වීම අනුව උසස් අධ්‍යාපනය යනු, කුසලතාවය මත නිශ්චිතව තෝරා ගැනීමකින් පසුව ලබාදිය යුත්තකි. එසේ නම් ඕනෑම කෙනෙකුට සිහිනයක් තිබූ පමණින් තමා සතු ධනය මත පමණක් අධ්‍යාපනය ලැබීමේ අයිතිය නිර්ණය නොවිය යුතු ය. නමුත් SAITM ආයතනයට කුසලතාවය මත පදනම් ව සිසුන් බදවාගැනීමට හැකිවන අයුරින් නියාමනයන් තිබේ ද? මෙවන් ගැටලු සහගත අවස්ථාවකදී වුවද එම ආයතනයට සිසුන් ඇතුලත් කර ගැනීමට නියමිත කඩයිම් ලකුණු පවා නිශ්චය කර නැත. අවස්ථා ගණනාවකදී නිසි ලෙස එම ගැටලුව නිරාකරණය කරන තෙක් SAITM ආයතනයට සිසුන් බදවාගැනීම අත්හිටවිය යුතු බවත් කිසි ලෙසකින් වත් වසරකට දෙවතාවක් බැගින් සිසුන් ඇතුලත් කර නොගතයුතු බවත් අවස්ථා ගණනාවකදී SLMC හා රජයේ වෛද්‍ය පීඨාධිපතිවරුන් නිර්දේශ කර තිබුනද ඒ කිසිවක් ක්‍රියාත්මක නොවුනි. මෙලෙස අත්තනෝමතික ලෙස මෙරට වෛද්‍ය ක්ෂේත්‍රෙය් ඉහලතම වෘත්තීයයන්ගේ නිර්දේශ නොසලකා හරිමින් ඔවුන් කටයුතු කරන්නේ ඔවුන් සතු දේශපාලනික හා මූල්‍යමය පසුබිම මතයි.

මෙවන් නිර්දේශ ගණනාවක් ලැබී ඇති පසුබිමක ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ආයතනික වශයෙන් ගනු ලබනු වෙනුවට SAITM ආයතනය මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය සුරක්ෂිත කරනු වස් පිහිටුවා ඇති ස්වාධීන ආයතනයක් වන SLMC හි න්‍යාමන හැකියාව අභියෝගයට ලක් කරමින් සිටියි. අනෙක් පසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බැදී සිටින සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු රජය තම පටු දේශපාලන අභිමතාර්ථ හා පෞද්ගලික න්‍යාය පත්‍රයක් මත කටයුතු කරමින් එම විද්වත් නිර්දේශ නොසලකා හරිමින් සිටියි. ඉහත කී ක්‍රියා කලාපයන් නිසා අවධානමට ලක්වන්නේ මෙරට අහිංසක රෝගී ජීවිත නොවේද? මෙලෙස න්‍යාමනයකින් තොරව පවත්වාගෙන යනු ලබන වෛද්‍ය උපාධි පාඨමාලාවන් යැයි කියාගන්නා පාඨමාලාවන් තුළින් මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයටත්, ඉන් ඉක්බිතිව සමස්ථ නිදහස් සෞඛ්‍යය ක්ෂේත්‍රයටත් සිදුවන බලපෑම සුළු පටු නොවේද? මේ සියල්ල අප අපගෙන්ම විමසා බැලිය යුතු ය.

එලෙස මෙරට ස්වාධීන නියාමන ආයතනය වන SLMC හි අනුමැතිය නොලැබී තිබියදී පවා මෙවන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට උපාධි ප්‍රදානය කිරීමේ අයිතිය(Degree Awarding Status) ලබා දීමට ගැසට් පත්‍රයක් ඉදිරිපත් කරන ලදී.නමුත්, වෛද්‍ය සභාවේ නිර්දේශ මත ක්‍රියාත්මක වෙමින් එහි ගුණාත්මකභාවය තහවුරු කිරීමට උසස් අධ්‍යාපන අමාත්‍යංශය සෞඛ්‍යය අමාත්‍යවරයා පියවර ගනු නොලැබුණි. එවන් අපරිපූර්ණ ආයතනයක් (SLMC නිර්දේශය ලබා නොතිබිය දී පවා) නැවතත් ගැසට් පත්‍රයකින් හා සෞඛ්‍යය අමාත්‍යංශ ලේකම්වරයා ලියූ ලිපියකින් නීතිගතකරන ලදී. මේ සියල්ල දේශපාලනික මෙහෙයවීම් මත සිදු වූවා මිස ගුණාත්මකභාවය තහවුරු කිරීමට ගත් ක්‍රියාමාර්ග නොවේ.මීට අමතරව එවකට සෞඛ්‍යය අමාත්‍යවරයාව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතා පැහැදිලි ලෙස ප්‍රකාශකර ඇතිපරිදි නෙවිල් ප්‍රනාන්දු රෝහල ශික්ෂණ රෝහලක් ලෙස පිළිගත නොහැක. තවමත් ඒ ප්‍රකාශය වලංගු ය.

පුද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් පෙනී සිටින හිතවාදීන් නිතර ඉදිරිපත් කරන කරුණු කිහිපයකට මෙම ලිපිය හරහා වඩා විමර්ශනශීලී පිළිතුරු කිහිපයක් සැපයීම උචිත යැයි සිතමි.

හුදෙක් ලාභ අරමුණු කරගත් SAITM ආයතනය හා එය නිදර්ශනයක් කරගනිමින් ස්ථාපනය කිරීමට යෝජිත අනෙකුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුළ වෛද්‍ය අධ්‍යාපනය වෙළදපොලකරනයට හසු වන බැවින් එහි ගුණාත්මකභාවය කිසි ලෙසකින් වත් සුරක්ෂිත නොවනු ඇත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බහුල ඉන්දියාව, නේපාලය වැනි රටවල ස්‍යෙඛ්‍ය ක්ෂේත්‍රය මුළුමනින් ම පාහේ කඩා වැටී ඇත්තේ මෙවන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඉඩ සලසා දීම මගිනි.

බොහෝ SAITM හිතවාදීන් පවසනුයේ ලොව පුරා පුද්ගලික වෛද්‍ය විද්‍යාල ව්‍යාප්තව පවතින බවත්, එබැවින් මෙරට තුළද එවැන්නක් ස්ථාපිත කිරීම අනුචිත නොවන බවත් ය. නමුත් ඔවුන් වසාලන සත්‍ය නම් මහා බ්‍රිතාන්‍ය ඇතුළු ලොව ඉහලතම සෞඛ්‍යය දර්ශක සහිත රටවල් ගණනාවකම ලාභ අරමුණු කරගත් පුද්ගලික වෛද්‍ය විද්‍යාල නොමැති තරම් වීමයි. ඇතත් ඒවා ලාභය අරමුණු කරනොගත් ආයතනික මණ්ඩල මගින් පාලනය වන විශ්ව විද්‍යාලයන් ය. එමෙන් ම එම සියළු විශ්ව විද්‍යාල ස්වාධීන වෛද්‍ය සභාවක් මගින් ඉතා සියුම් ලෙස න්‍යාමනය කරනු ලබයි. නමුත් ශ්‍රී ලංකාවේ වර්ථමාන තත්වය එබදුද? කිසි සේත්ම නැත. හුදෙක් ලාභ අරමුණු කරගත් SAITM ආයතනය හා එය නිදර්ශනයක් කරගනිමින් ස්ථාපනය කිරීමට යෝජිත අනෙකුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල තුළ වෛද්‍ය අධ්‍යාපනය වෙළදපොලකරනයට හසු වන බැවින් එහි ගුණාත්මකභාවය කිසි ලෙසකින් වත් සුරක්ෂිත නොවනු ඇත. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල බහුල ඉන්දියාව, නේපාලය වැනි රටවල ස්‍යෙඛ්‍ය ක්ෂේත්‍රය මුළුමනින් ම පාහේ කඩා වැටී ඇත්තේ මෙවන් පුද්ගලික වෛද්‍ය විද්‍යාල වලට ඉඩ සලසා දීම මගිනි. එමෙන්ම ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ න්‍යාමන බලතල අභියෝගයට ලක්ව ඇති මෙවන් පසුබිමක යුරෝපීය රටවල මෙන් වෛද්‍ය අධ්‍යාපනයේ සියුම් න්‍යාමනයක් අපේක්ෂා කළ හැකි ද? ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙහි නිර්දේශ නොසලකාහරිමින් ගැසට් පත්‍ර හරහා SAITM ආයතනයට නීතිමය වලංගුතාවයක් ලබාදෙන පසුබිමක් තුළ මින් ඉදිරියට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට එල්ලවන අභියෝග වලට අප රටක් ලෙස මුහුණ දෙන්නේ කෙසේ ද? කිමද මෙරට දේශපාලන අධිකාරිය පවා පෙනී සිටිනුයේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් මිස මෙරට නිදහස් අධ්‍යාපනයේ සුරක්ෂිතභාවය වෙනුවෙන් නොවන බැවිනි.

මෙරට තුළ ඉහල ගුණාත්මකභාවයකින් යුත් පුද්ගලික වෛද්‍ය විද්‍යාලවලට ඉඩක් පවතී ද?

මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය න්‍යාමණය කිරීමට ස්ථාපිත කර ඇති සෞඛ්‍යය ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රවීණතම වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ බලතල දැනටමත් අභියෝගයට ලක්ව ඇත. සෞඛ්‍ය ආඥා පණත අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට සෞඛ්‍යය අමාත්‍යවරයා බැදී සිටියද අත්තනෝමතික ලෙස තම දේශපාලන බලය මත පදනම්ව තම වගකීම ඔහු දිගින් දිගටම පැහැර හරිමින් සිටී. යම් වෘත්තියක ගුණාත්මකභාවය රැකගනු පිණිස ස්ථාපිත ස්වාධීන ආයතනයක ක්‍රියාකාරීත්වය මේ අයුරින් නීතිමය හා දේශපාලනික ලෙස සීමාකෙරුණු වටපිටාවක, ගුණාත්මකභාවයකින් යුතු පුද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරටට සිහිනයක් පමණි. ඒ සදහා අවශ්‍ය වන සමාජීය න්‍යාමනයක් ද මෙරට තුළ නොපවතින බව කිව මනා ය.

දේශපාලඥයන්ගේ අමනෝඥ හැසිරීම හා නොසලකා හැරීම්වලට ඉඩ සලසමින් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාවේ ගුණාත්මකභාවය බිල්ලට දිය යුතු ද? කිසි සේත්ම එය නොවිය යුත්ත කි. එයට හේතුව මෙරට දේශපාලඥයන්ට හා ඉහල ධනවතුන්ට අවශ්‍ය නම් තම මුදල් බලයෙන් මෙරට හෝ වෙනත් රටක වුවද සෞඛ්‍යය සේවාවන් ලබාගත හැකි වුවත් මෙරට නිදහස් සෞඛ්‍යය සේවාව SAITM වැනි ආයතන වලින් බිහිවන ව්‍යජ වෛද්‍යවරුන්ගෙන් සමන්විත වුවහොත් අසරණභාවයට පත් වන්නේ මෙරට බහුතරයක් වන මැදි හා පහල ආදායම් ලබන මිනිසුන් වන බැවිනි.

මෙවන් ආයතන ලංකාව තුළ පවතින නිදහස් අධ්‍යාපනය හා නිදහස් සෞඛ්‍යයෙහි සුරක්ෂිත පැවැත්මට බාධාවක් වන්නේ කෙසේද?

අධ්‍යාපන ක්ෂේත්‍රයට දළ දේශීය නිශ්පාදිතයෙන් වෙන්කරනු ලබන මූල්‍යමය ප්‍රතිපාදන දිගින් දිගටම කප්පාදුවන පසුබිමක මෙලෙස දිගින් දගටම මෙරට තුළ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ස්ථාපිත වුවහොත් මෙරට නිදහස් උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය කඩා වැටීම වළක්වාලිය නොහැක. ලාභය අරමුණු කරගත් ව්‍යාපාරික ආයතන සමග එක් පොදු තරග බිමක තරග කරන්නට රාජ්‍ය විශ්ව විද්‍යාලවලට සිදු වේ. නමුත් එලෙස තරග කරන්නට අවශ්‍ය කිසිදු වටපිටාවක් රජය විසින් සපයා නොදෙන පසුබිමක මෙරට තුළ සමාජීය වශයෙන් අතිශය පිළිගැනීමට ලක්වුණු නිදහස් උසස් අධ්‍යාපනයට අත්වන ඉරණම ඉතාමත් කණගාටුදායක ය. උදාහරණයක් ලෙස පෞද්ගලික බස්  අසීමාන්තිකව ප්‍රවාහන සේවයට අන්තර්ග්‍රහණය කරගැනීම හරහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කඩා වැටුණු අයුරු මෙහිදී සිහිපත් කිරීම වටියි. එමෙන්ම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ අමාත්‍යවරුන්ගෙන් රුපියල් මිලියන 600ක මුදලක් ණය ආධාරයක් ලෙස SAITM ට ලබා දී තිබියදී මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වලට ලබාදෙන මුදල් කප්පාදු කරමින් එහි ගැටලු නොසලකා හරිමින් සිටී. ප්‍රසිද්ධ මාධ්‍යයන් වල පවා ඔවුන් පෙනී සිටිනුයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වෙනුවෙන් මිස රාජ්‍ය විශ්ව විද්‍යාලවල සුරක්ෂිත ඉදිරි පැවැත්ම වෙනුවෙන් නොවේ. මදක් සිතන්න. ඉහල වැටුප් තලයන් අපේක්ෂිත රාජ්‍ය විශ්ව විද්‍යාල වල මානව හා භෞතික සම්පත් පෞද්ගලික වෛද්‍ය පීඨ වලට ඇදී යාම වැලැක්වීමට මෙරට දේශපාලන අධිකාරිය ක්‍රියා කරතැයි ඔබ සිතන්නේ ද? අවසන නිදහස් අධ්‍යාපනය පියවරෙන් පියවර බිදවැටෙන තෙක් එහි ගුණාත්මකභාවය නොවැලැක්විය හැකි ලෙසම පහලට ඇද වැටීමෙන් වැළැක්වීමට මෙරට දේශපාලන අධීකාරිය කිසි සේත්ම ක්‍රියාත්මන නොවේ. එයට හේතුව මෙරට බහුතර මධ්‍ය හා අඩු ආදායම් ලබන දරුවන්ගේ අධ්‍යාපන අයිතීන් සුරැකීමට ඔවුන් කිසි දිනක ඉදිරිපත් නොවන බැවිනි. මෙරට අධ්‍යාපනයේ ඉහලතම ස්ථරය වන රාජ්‍ය විශ්ව විද්‍යාල ඉහත කී ලෙසට දියකර හැරුණු විටදී ප්‍රාථමික හා ද්විතියික මට්ටමේ ලබාදෙන නිදහස් අධ්‍යාපනය සුරක්ෂිතව පවතීදැයි විශ්වාස කළ හැකි ද? එයද ක්‍රමාණුකූලව කඩා වැටීම වළක්වාලිය නොහැක.

මෙතෙක් යම් දුරකට හෝ ලංකාව තුළ ස්ථාපිත සමාජ සාධාරණත්වය හා සමාජ සමානාත්වතාවය ක්‍රමිකව බිද වැටී නැවතත් වරප්‍රසාද ලත් සීමිත පිරිසකගේ පමණක් අදහස් මුදුන් පමුණුවාලන වටපිටාවකට ලාංකීය සමාජය යොමු වීම වැලැක්වීම මාධ්‍ය වේදීන්ගේ ප්‍රමුඛතම වගකීමකි.

එම නිසා මෙවන් පසු බිමක පෞද්ගලික වෛද්‍ය විද්‍යාල මෙරට ස්ථාපනය කිරීමෙන් මෙරට නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය හා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවයට සිදු වන බලපෑම අප අපක්ෂපාතී හා නිවැරදි ලෙස සමාජ ගත කළ යුතු ය. SAITM වැනි ආයතන වෙනුවෙන් පෙනී සිටින බොහෝ දෙනෙක් ඒ වෙනුවෙන් පෙනී සිටින්නේ තමන්ට අදාලවන පෞද්ගලික කරුණක් මත පදනම් ව මිස ඉහත කී පොදු සමාජයීය ගැටලු පිළිබදව සාවදාන වීමෙන් නොවේ. එබැවින් ඉහත කී කරුණු නිදහස්ව විමසා බැලීමෙන් අනතුරුව ලංකාව වැනි රටකට පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය කිසි සේත්ම නොගැලපෙන බැව් සක්සුදක් සේ පැහැදිලි ය.

සටහන – ධනුෂ්ක නුවන් පතිරණ (වෛද්‍ය පීඨය – කොළඹ විශ්වවිද්‍යාලය)

No Comments

Leave a Reply

%d bloggers like this: