අවි විරෝධියාගේ ගෙදර තුවක්කුව පත්තු වීම හෙවත් තණ්හා රති රගා දේශපාලනය

 විසින් රාවයට ලියන ලද ලිපිය නැවත පලකිරීමකි.

මැයි 18 වැනිදායින් පසු එළඹුණු දින කිහිපය පුරා පාරවල් ගානේ කිරිබත් කෑමේ මජරකමක් එදා පෙනුණේ නැත. මජරකම පෙනුණේ වසර 4-5ක් ගතවෙද්දීය. සතුරෙක් නැති රට තනි ඒකාධිකාරී පාලනයක භුක්තියට සවිවෙද්දීය. අනෙක් අතට දිගු කාලයක් පැවති යුද්ධයෙන් අනතුරුව රට ආයුධ පරිහරණය කැරෙන සංස්කෘතියකට නතු විය. මේ දෙකම බරපතළ කාරණා ලෙස කිරිබත් කන වෙලාවේ නොදැනුණත් දැන් දැනෙමින් තිබේ. සිනමාවේදී නිලේන්ද්‍ර දේශපි‍්‍රයගේ තණ්හා රතී ර`ගා චිත‍්‍රපටය තිරගත වන්නට පටන් ගන්නේ ඉහත ප‍්‍රශ්න දෙකම වඩ වඩා සමාජයට දැනෙමින් තිබෙන මොහොතකදීය. නිලේන්ද්‍ර එහිදී තේමාත්මකව තවත් වැදගත් කාරණයක් ඉස්මතු වෙයි. එය නම් පශ්චාත් යුද සමය වෙනදා මෙන්ම පීඩිතයන් පීඩාවට පත්වන යුගයක් බවත් එම පිරිස හුදෙක් ගොදුරු ලෙස තවදුරටත් මේ සමාජය තුළ සංසරණය වන බවත්ය. ඔවුන් ගොදුරු නම් එම ගොදුරු ඩැහැ ගන්නා ගොදුරු කාරකයක්ද සමාජය තුළ තිබිය යුතුය.

ගොදුරු කාරකය

යුද්ධය පැවති සමයේ උතුරින් දකුණට සංසරණය වන ආයුධවලට දකුණේ වෙළෙඳපොළක් තිබුණි. දකුණින් පැහැර ගත් වාහන උතුරට විකිණීම ප‍්‍රමුඛව ජාවාරමක් විය. එමෙන්ම කොටි සංවිධානය මුදල්වලට ගත් දකුණේ නියෝජිතයෝ සිටියහ. මේ සමහර දේවල්වලට සම්බන්ධ වූයේ සමාජයේ යම් බලයක් අත්පත් කර ගත් පිරිස්ය. ඔවුහු ජාවාරම් මගින් තම කළු ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කර ගත්හ. උක්ත කි‍්‍රයාවලියෙහි නියමුවන් කිසිදාක හඳුනාගත නොහැකි වූ අතර කි‍්‍රයාවලියෙහි ඇන මුරිච්චි වූවෝ බලි බිලි බවට පත්වූහ. කිසිසේත්ම සම්බන්ධයක් නැති අය ජාවාරම්කාර යාන්ත‍්‍රණයේ ගොදුරු වූ අවස්ථා තිබුණි. තණ්හා රතී ර`ගා එවැනි අවස්ථාවක් පාදක කර ගන්නා අතර එය අහඹු ලෙස සිදුවන්නක්ද නොවේ යන්න තහවුරු වන්නේ මහ දේශපාලන යාන්ත‍්‍රණය විසින් චූල කතිකාවන් හා සමාජයේ පරිවාරය දිනෙන් දිනම පාවිච්චි කර ඉවත දමන සාධක ලෙස පවත්වා ගැනීම නිසාය. මානුෂික යුද්ධ නැත කියන විට සිදුවූයේ මානුෂික මෙහෙයුම්ය යන්න හිංසාව වසාගෙන වර නැගේ. දකුණට අවි ගෙනෙන විකුණන සැබෑ විත්තිකරුවන් වෙනුවට ඊට අසම්බන්ධ අය මුලින් සැකකරුවන් බවට පත්ව අනතුරුව නියම සාක්ෂි ඇතුව හෝ නැතුව වැරදිකරුවන් කර ද`ඩුවමට පාත‍්‍ර කෙරේ. පීඩිතයාට එරෙහිව නීතිය අර්ථ දැක්වීම හරි පහසුය. තණ්හා රතී ර`ගා චිත‍්‍රපටයේ සිරීගෙන් රහස් පොලිිසිය දරුවා සහ කොටි ගැන අසන ප‍්‍රශ්න ඒකමානීය. විචක්ෂණශීලි නැත. එය එක්තරා වුවමනාවකි.

මිනිස් සබඳතා

අපට ඇත්තේ සංස්කෘතිය හා භක්තිය යන දෙකෙහිම අභ්‍යන්තරයේ නොමැතිව සංස්කෘතික වන්නටත්, ව්‍යාජ ලෙස ආගමික වන්නටත් තතනන සමාජයකි. තණ්හා රතී ර`ගා මේ කාරණය ප‍්‍රබලව මතු කරයි. උතුර නිදහස් කර ගැනීමෙන් පසු විමලේ සිරි සහ සුරාජ් උතුරට විනෝද චාරිකාවක් ගියාට එය විනෝදය අහිමි චාරිකාවක් බවට පත්වෙයි. එය සිදුවන්නේ ගමනේ ඒකායන අරමුණින් විතැන්වීමේ සිටය. එසේ විතැන් වන්නේ ඇයි? උතුරට යන විට හමුවන හැම චෛත්‍යයක් ළ`ගම වැඳගෙන තාවර වුණාට ධර්මය හා දෘඩ සහජීවනය අභ්‍යන්තරයේ නැත. විනෝද සංස්කෘතිය පිස්තෝලයක් නොව මුදල් පොදියක් ලැබුණත් වෙනස් විය නොහැකිය. වෙනස් වන්නේ අප අසංස්කෘතික නම්ය. චලෙයි වෙරළේදී විමලේට කොටින් සැ`ගවූ පිස්තෝලයක් හමුවන්නේ පෙර දින හමුවී දැනහඳුනාගත් පෙම්වතිය සමග දුරකථනයෙන් ප‍්‍රථම පේ‍්‍රම සල්ලාපයේ යෙදෙනවිටය. එය හරිනම් පිස්තෝලයක් පත්තු වුවත් අවධානය නොබිඳෙන මොහොතක් විය හැකිය. එහෙත් පිස්තෝලය ඇස ගැටීමත් සමග ඔහුට පෙම්වතියගේ අවධානය ගිලිහෙයි. දුරකථනය අතහැර හෙතෙම පිස්තෝලය ස`ගවා ගැනීමේ ප‍්‍රයත්නයක යෙදෙයි.
තී‍්‍රවිලරයේ පෙට‍්‍රල් අවසන් වූ අවස්ථාවකදී පෙට‍්‍රල් රැුගෙන ඒමට යන්නේ සිරීය. ඔහු තම මිතුරන් දෙදෙනා පිස්තෝලයක් අහුලාගෙන ඒම ගැන විරුද්ධය. සිරි හමුදා රථයකින් පෙට‍්‍රල් රැුගෙන එනවිට පිස්තෝලය ගැන ඔත්තුව දුන්නා යැයි සැකකොට විමලේ බිම්බෝම්බ අනතුරු සහිත පෙදෙසක් මතින් දිවයයි. පසුව මිතුරා දිවූ කාරණය තේරුම් ගන්නා සිරී විමලේට කියන්නේ ‘කැත විදියට හිතන්න එපා මිනිහෝ’ යනුවෙනි. මිනිස් සබඳතා පළුදු කරන්නේ මේ අසංස්කෘතික සිතීමය. පිස්තෝලය ඇස ගැටුණු සැණින් විමලේට සිය පෙම්වතිය ගැන වූයේද එබඳු නොකල්පනාවකි. නැතහොත් ක්ෂණික අත්හැර දැමීමකි. එය විනෝද චාරිකාවක් ගොස් එහි වින්දනය අහිමිකර ගැනීම හා සමානය.

අඹ මිදි ජාතිවාදය

කොහෙන්ද යාපනෙන්ද මිදි ගෙනාවේ? චාරිකාවෙන් පසු දින සුරාජ්ගේ පෙම්වතිය මිදි ගෙඩියක රස බලන ගමන් ඔහුගෙන් අසයි. ඔහු ඔව් කියයි. හරි ෂෝක් අනේ ඇය පිළිවදන් දෙයි. විමලේ අම්මාටත් සිරි, බිරිඳට හා දරුවන්ට කියන්නේත් යාපනයෙන් මිදි හා අඹ රැුගෙන ආ බවය. ඒවා ඔවුන් මිලදී ගත්තේ කොළඹ නගරයෙනි. මේ රැුවටීම හා රවටා ගැනීම මිනිස් ආධ්‍යාත්මය පුරා ඔඩුදුවා ඇති සෙයකි. යාපනේ නෙවෙයි නම් ඒ මිදි හෝ අඹවලට ඒසා වටිනාකමක් ඔවුන් කිසිවෙක් දෙන්නේ නැත. අඹ මිදි සේම යුද්ධයෙන් පසු ඇති වූ බහුතරයකගේ දේශපේ‍්‍රමයත් ඇත්තටම උතුරේ යුද්ධය නිසා හෝ ඒ ජයෙන් පැනනැගුණු එකක් නොවේ. සමහර විට මිදි හා අඹ කොළඹින් ගත්තා සේම දේශ පේ‍්‍රමයත්් බෞද්ධලෝක මාවතෙන් තුම්මුල්ලෙන් පැනනැගුණු එකකි. බොදු බලසේනා, රාවණා බලය, සිහළ රාවය ආදී ජාතිවාදී කල්ලි කණ්ඩායම් යාපනේ කොටි පරාජයෙන් පැන නැගුණු අඹ, මිදි බවට පත්වූයේ ඒ කිසිවකුත් ශරීරයෙන් කැපවූ යුද්ධයකින් අනතුරුව නොවේ. වෙනත් පටු අරමුණු පදනම් කර ගෙනය. අද රට තුළ තිබෙන්නේ අඹ මිදි මට්ටමේ ලොල් වඩවන ජාතිවාදයක් මිස අන් යමක් නොවේ.
නිලේන්ද්‍ර අඹ හා මිදි කොළඹින් ගන්නට සලස්වන්නේ මේ කාරණය ගැන සවිඥානිකව බව පෙනේ.

සංඥාර්ථ

ස්ටැනිස්ලවුස්කිට අනුව රංග විද්‍යාවේදී ගැටලූව වේලාසන නොපෙන්විය යුතුය. මෙම සිනමා නිර්මාණයේදී නිලේන්ද්‍ර ඇතැම් විටෙක ගැටලූව වේලාසන සංඥා කරයි. සමස්ත සිනමාව තුළ නාගයකුගේ සංකේතාර්ථය යොදා ගන්නේම ගැටලූවක් අභිමුවේ බව පෙනේ. නයා ප‍්‍රධාන වශයෙන් අවස්ථා තුනකදී දක්නට ලැබුණි. පළමු අවස්ථාව පිස්තෝලය සහිත මල්ලෙහිය. දෙවැන්න මිතුරන් තිදෙනාට පාර වැරදී හමුදාවෙන් නවතාගෙන සිටින රාති‍්‍රයේදීය. අන්තිම අවස්ථාව දරුවකු ඇත්ත පිස්තෝලයෙන් සිය සොයුරියට වෙඩි තැබීමට මොහොතකට පෙරය. මේ සෑම අවස්ථාවකම නයාගේ සංකේතයෙන් පසුව ගැටලූවකට පාත‍්‍රයෝ අභිමුඛව වූහ. ගැටලූව උද්ගත වන්නට ඉඩ හරිනවා හැර ඊට අප වේලාසන කඩාවැදිය යුතුද? එමෙන්ම මූලික තේමාව ධාරණය කරවීම පිණිස භාවිත කර ඇති ඇතැම් රූප රාමුවලින්ද මේ ප‍්‍රශ්නයම මතු කරයි. චිත‍්‍රපටය අවසානයේ සිරගතව සිට එන මිතුරන්ට නගරාශි‍්‍රත තැනි බිමක තිබී හමුවන රම්බෝ පිහිය වීසි කිරීම හා එම ස්ථානයේම මරා දැමුණු තරුණියකගේ සිරුරක් දර්ශනය වීම සිනමා පටයට එල්ලා ඇති දේවල් ලෙස පෙනේ. පිහිය හමුවන විටත්, මළ සිරුර හමුවන විටත්, ආයුධ සංස්කෘතිය නිසා සමාජය අත්පත් කරගත් මහා විනාශය තණ්හා රතී ර`ගා තුළ පූරණය කර ඇත. ඉන් අනතුරුව තවදුරටත් එය පුනරුච්ඡුාරණය කළ යුතුද? අවසාන දර්ශනය විමලේගේ බඳු තවත් තී‍්‍රරෝද රථ තුනක් උතුරබලා වේගයෙන් ගමන්කරන රූප රාමුවකට ජේදනය වීම පිළිගත හැකිය. ඒ මෙම කි‍්‍රයාවලියෙහි අනවරත බව සංකේතවත් කිරීම පිණිසය.

පැරණි උපක‍්‍රමයක්

චන්දරේ පශ්චාත් යුද අවදිය තුළ පැරණි උපක‍්‍රමයක් බව පෙනේ. සුරාජ් මුහුණදෙන ගැටලූව වෙනත් මානයකින් ඉදිරිපත් කරන්නටත් තිබුණි. කොළඹ සමාජයෙන් ඒ සඳහා ඕනෑතරම් ක‍්‍රම සොයා ගැනීමට බැරි නැත. චන්දරේ මෙන්ම ඔහු පසුපසින් නොණ්ඩි ගසමින් යන එන සගයාද ඕලාරික භාවිතාවකින් එහාට පොළා පනින්නේ නැත. ඔවුහු ගණන්කාර කමේ ගැඹුරක් ගෑවිලාවත් නැති නිශ්ඵල නාගරිකයෝ වෙති. අහිංසකයන්ට සිදුවන සමාජ අසාධාරණය ගැන කීම සඳහා චන්දරේ සුරාජ්ගේ පේ‍්‍රමයට සතුරකු වීම හා විමලේගේ බාප්පා විමලේගේ පැවැත්මට සතුරකු වීම භාවිත කළ හැකිය. එහෙත් නිලේන්ද්‍ර මතුකරන පශ්චාත් යුද අවදිය පිළිබඳ මහේක්ෂ කතිකාවතෙහි දුරස්ථ සාධක ලෙස පවා භාවිත කිරීමට උක්ත චරිත සරල වැඩිය. මීට වඩා බලවත් සතුරන් විමලේට හෝ සුරාජ්ට අභිමුඛව විය යුතුය යන්න ඉන් අදහස් නොවන නමුත් ඊට වඩා සතුරු බව පිළිබඳ ව්‍යක්ත හේතු ප‍්‍රත්‍යයක් මෙම චරිතවලට අභිමුඛ කිරීම වටී.

හමුදාව – පොලිසිය

චිත‍්‍රපටය තුළ හමුදාව අන්තර් මිනිස් කි‍්‍රයාවලිය තුළ නිසි තැන තබන නිලේන්ද්‍ර පොලිසිය කුජීත කර දමයි. කොටි පරාජය කළ ගමන් උතුරේ විනෝද චාරිකා යනෙන ජනතාව ගැන හමුදාව සිතන්නේ කොහොමද? එහි තිබුණේ තනිකරම ජීවිතයත් මරණයත් අතර ද්වන්ව තත්ත්වයකි. එහෙත් දැන් ගුණසිංහ පුරේ එවුනුත් නාන්නට චලෙයි එයි. මෙය කෙතරම් උත්ප‍්‍රාසවත් කාරණයක්ද? යුද්ධයෙන් අනතුරුව උතුර ජයගත් හමුදාව එහි විනෝද චාරිකා ගිය ජනයා දෙස බලන දෘෂ්ටියෙහි ස්වභාවය මීට පෙර නිර්මාණයකදී විවරණය නොවුණි. හමුදා සාමාජිකයෝ උත්ප‍්‍රාසාත්මකව සිවිල් ජනයාගේ විප‍්‍රකාරය දකිති.

අපිව අවුරුදු තිහක් මදුරුවෝ කෑවා. තමුසේට එක දවසක් මදුරුවෝ කකා ඉන්න බැරිද? එක අවස්ථාවක හමුදා සාමාජිකයකු සිරිගෙන් විමසයි. උතුරේ මොන ජාතියේ යුද්ධයක් තිබුණත් දකුණේ ජන මනස හැදී තිබුණේ මදුරුවෙක් විදිනවාටත් අකමැති මානසික පසුබිමකය. පිස්තෝලය නිසා හමුදා බාධකයෙන් ජය ගැනීමේ අවශ්‍යතාව සිරි මෙහිදී ප‍්‍රකට කළත් දකුණේ ඇත්ත තත්ත්වය සුවපහසුව පිළිබඳ අපේක්ෂාවකි.

හමුදාව භාරයේ රැුය ගත කර උදෑසන යන්නට පිටත් වන මිතුරන්ට හමුදා සාමාජිකයකු ආහාර පාර්සලයක් දෙයි. එහෙත් පොලිසිය ඉන්නේ ඊට අංශක 180කින් අනික් පැත්තේය. ඔවුන් උතුරේ අහිංසක වැසියන් හැකි සියලූ ආකාරයෙන්ම සූරාකන අතර දකුණේ අයට ද පොලිසියෙන් ගැලවීමක් නැත යන්න නිලේන්ද්‍ර මෙම චිත‍්‍රපටය තුළ තිරව ප‍්‍රතීයමාන කර තිබේ. එහෙත් නිලේන්ද්‍රගේ මතය මුළුමනින් ඇත්තක් නොවේ. මෙම යුද කි‍්‍රයාවලිය තුළ හොඳ නරක යන කාරණය සාපේක්ෂය. දෙපිරිසම නිලේන්ද්‍ර විවේචනය කරන ආයුධ සංස්කෘතියට පාදක යුද දේශපාලනයෙහි මුල ආයතන දෙකකි. මෙම ආයතන දෙක අතරිනුත් හමුදාව පශ්චාත් යුද අවදිය තුළ දකුණේ පාලනයට අවශ්‍ය පරිදි උතුරේ ජනයා හසුරුවන හා පෙළන බලවේගය විය. ඔවුහු උතුරේ ජනයාගේ මළවුන් සැමරුමටත් තිරස්චීන ලෙස බාධාකරන අතරම දකුණේ මහජන විරෝධතාවලට වෙඩි තබා ජනයා ඝාතනය කළහ. එබැවින් හමුදාව අරභයා නිලේන්ද්‍ර ලියූ සහතිකය ගැන ඔහු යළි සිතා බැලීම වැදගත්ය.

ළමයි හා ජනතාව

ගැහැනු දරුවන් බෝනික්කන්ටත් පිරිමි දරුවන් බෝලවලටත් ආශා කළ යුගය නිමාවී ඒ දෙපිරිසම තුවක්කුවලට ඇලූම් කරන යුගයක් පැමිණීම ආයුධ සංස්කෘතිය තුළ සාමාන්‍යයකි. ආයුධ විෂයෙහි සාමාන්‍ය ජනයාත් ළමයින් වගේය. ළමයිනුත් සාමාන්‍ය ජනයා වගේය. විමලේ සහ සුරාජ් චලෙයි වලින් පිස්තෝලයක් අහුලාගෙන ඒම ගැන සිරි මුල සිටම විරුද්ධය. එහෙත් අවසානයේදී ඒ පිස්තෝලය අතිමහත් ඛේදයක් උදාකරමින් පත්තු වන්නේ මුල සිටම ආයුධවලට විරුද්ධ වූ මිනිසාගේ ගෙදරය.
යළි ඉස්මතු වී පෙනෙන්නේ නිලේන්ද්‍ර දේශපි‍්‍රය සිය සිනමා ප‍්‍රස්තුතයේ යටි පෙළ ප‍්‍රබල කියවීමකට පසුකර ගන්නා ආකාරයයි. තුවක්කුවලින් එනම් ආයුධ සංස්කෘතියෙන් වැඩිම හානිය සිදුවන්නේ නිරායුද හා ඊට එරෙහි වූවන්ට යන්නය. යුද වකවානුව දෙස බැලූවත් පශ්චාත් යුද අවදිය දෙස බැලූවත් සැබෑ තත්ත්වය එය නොවේද?

No Comments

Leave a Reply

%d bloggers like this: